නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Untiwdtled-1.png
Untiwdtled-1.png

80 වසරක ඉතිහාසය යනු සුළු පටු කාලයක් නොවේ.දිනෙන් දින නැගෙමින් සමෘද්ධිමත් වර්ධනයක් කරා එළඹෙමින් නුගවෙල මධ්‍ය විද්‍යාලය ආස්වාදයක් අප වෙත ළං කොට ඇත.මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙල තුළ ද්විතීයික පාසල් දහසක් ගොඩනැගිමේ ව්‍යාපෘතිය යටතේ නුගවෙල බාලිකා හා පිරිමි විද්‍යාලයන් නුගවෙල මධ්‍ය විද්‍යාලය හා ඒකාබද්ධ කිරිමේ ඓතිහාසික මොහොතෙහි අතීතය පිළිබඳ ප්‍රකාශ කොට සිත් සතන් තුළ මතුවු ප්‍රමෝදය මෙලෙස සටහන් කරනු කැමැත්තෙමි.

ආයතනයක් ජයග්‍රහණය කරා ළං වනුයේ පියවරෙන් පියවරය.එහෙත් එය සිදුවන්නේ පුද්ගල සමුහයකගේ මැදිහත්වීම,සහභාගීත්වය හා සහයෝගය නිසාමය.එය එසේනම් නුගවෙල මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ක්‍රමයෙන් වර්ධනය කරා පියනගා ඇත්තේ ද උගත් බුද්ධිමත් පඬිවරුන් මෙන්ම ක්‍රියාශිලි නායකයන්ගේත් ශිෂ්‍ය හා ආචාර්ය මණ්ඩලයේත් අවට ප්‍රජාවගේත් කාරුණික සහය නොඅඩුව ලැබූ නිසාමය.නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ගුණාත්මක සුරැකුමට පදනම එයයි.ප්‍රමාණාත්මක වර්ධනය ද එයමයි.බෞද්ධ ආභාසයේ දැවැන්ත සෙවණැල්ල පියස්සක් සේ නුගවෙලට සෙත සැලසීය.ඒ පියස්ස නිමවුවෝ නුගවෙල සම්බන්ධපුද්ගලයෝය.

ඔවුහු බෞද්ධ නායකයෝය,කවියෝය,කලා කරුවෝය,විද්‍යාධරයෝය,සාහිත්‍යධරයෝය,කීර්තිමත් ජනහිතකාමීහූය.අපි මේ උදාර පුරුෂ‍යන්ට ප්‍රශාංසා කරමු.මොවුන්ගෙන් කිසිවෙකුත් අද ජිවතුන් අතර නොවෙතී.එහෙත් මිහිදන් කළ ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ සදා නොමියෙන්නෝය.නුගවෙල මධ්‍ය විද්‍යාලය සතු භාග්‍යයේ සංකේතය ලෙස ඔවුහු හඳුන්වමු.සිය නිර්මල හදවත් නුගවෙල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් විවෘත කරමින් ජාතියේ ආගමේ හා භාෂාවේ නාමයෙන් කළ කී දෑ අමතක කර දැමීම නොහැක්කකි.ශ්‍රීමත් කන්නන්ගර නාමය සමඟ ඊ.ඒ. නුගවෙල නාමය කිසිවෙකුට කෙදිනකවත් අමතක නොවන නිසාය.

     සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන්

 

ඊ.ඒ. නුගවෙල මැතිඳුන්

 

ජාතියේ පිනෙන් පහළ වූ ශ්‍රීමත් සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමාගේ අතිශය තියුණු  ඥාන දර්ශනයෙන් ඔපවත්ව ජාතියට දායාද වු නිදහස් අධ්‍යාපනය තුළින්  මධ්‍ය විද්‍යාල බිහිවන්නට විය.එය මෙරට නව පෙරමගක් ඇති කිරිමට සමත් විය.ඒ අනුව හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ කුළුගම්මන සියපත්තුවට අයත් නුගවෙල ග්‍රාමයේදී 1944 ජනවාරි 04 වැනි දින සිසුන් 97 දෙනෙකුගෙන් හා පස් දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් ඇතුළත් වන ලෙස නුගවෙල මධ්‍ය විද්‍යාලය ආරම්භ කළේය.එහි ප්‍රථම විදුහල්පත්වරයා වුයේ ඩී.ඩ්බ්.මායාදුන්නේ මැතිතුමාය.නුගවෙල පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක මධ්‍ය විද්‍යාලය මුලින්ම ආරම්භ කරනු ලැබුවේය.නුවර කුරුණැගල මහා මාර්ගයේ සිට මීටර් 150 ක් දුරින් පිහිටි නුගවෙල මධ්‍ය විද්‍යාලය නව ස්ථානයක ස්ථාපිත කළ හැකි වුයේ බෝධිසත්ව ගුණයෙන් යුතු නුගවෙල මහතා විසින් කළ ඉඩම් පරිත්‍යාගය නිසා ය. ඒ සඳහා මහත් සහයක් සැපයු මාලගම්මන රජමහා විහාරාධිපති ශ්‍රී ධම්මාලෝක නාහිමියන් විසින් ද එවකට කීර්තිමත් දානපතියෙකු වු ද කීර්තිමත් සමාජ සේවක ඩී.ජේ.ජයවික්‍රම මහතා විසින් ද කළ ඉඩම් පරිත්‍යාගය කෘතවේදීව සඳහන් කළ යුතුය.අක්කර 9 යි පර්චස් 0.73 ක් පුරා දිවෙන නුගවෙල මැදි විදුහල් සුවිසල් භූමිය අති සුන්දරය.මේ සඳහා අප්‍රතිහත ධෛර්යෙන්  ඊ.ඒ.නුගවෙල මැතිතුමා කළ පරිත්‍යාගශීලී කැපකිරීම නොවන්නට හාරිස්පත්තුව ජනතාව ඇතුළු දහස් සංඛ්‍යාත දූ දරුවන්ට සමාජ හා රාජ්‍ය පරිපාලන සේවක නායකත්වයට පත්වීම සිහිනයක් පමණක් වීමට ඉඩ තිබුණි.තිත්තපජ්ජල විහාරාධිපති වැඩ වැසු කුළුගම්මන ඥාණානන්ද හිමිපාණන් වහන්සේ හා මාපාමඩුල්ල ශ්‍රී වර්ධනාරාධිපතිව වැඩ විසු මාරතුගොඩ දේවානන්ද නාහිමිපාණන් වහන්සේගෙන් එකල ලැබු ආගමික ආභාසය තුළින් නුගවෙල මධ්‍ය විද්‍යාලය ප්‍රදේශයේ ඇති සම්භාවනීයම විද්‍යස්ථානය ලෙස පත් කරන්නට හැකි විය.

 

වර්තමානයේ පවතින ස්ථානයට නුගවෙල මධ්‍ය විද්‍යාලය  1951 වර්ෂ‍යේදී ගෙන එනු ලැබුවේ ඊ.ඒ නුගවෙල මැතිතුමාට පින්සිදුවන්නට විය.මුලදී  ඉංග්‍රිසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපන  කටයුතු සිදු කෙරුන ද පසු කලෙක සිංහල භාෂාවෙන් ඉගැන්වීම් සිදුකරන්නට විය.6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විද්‍යා,ගණිත,කලා,වාණිජ විෂය ධාරාවන් සහිතව පන්ති පැවැත්වේ.බාලක/බාලිකා නේවාසිකාගාර දෙකකින් යුතු නුගවෙල මධ්‍ය විද්‍යාලය සිය ප්‍රථම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා බිහිකළේ 1953 වසරේදීය.අතිසුන්දර භූමි භාගය පුරා විහිදී සිටින දැවැන්ත ගොඩනැගිලි සමුහය නුගවෙල මධ්‍ය විද්‍යාලයීය අභිමානය කියා පාන්නීය.


"ඥාණයෙන්  ප්‍රසිද්ධ වන්න" යන අදහස ඇති "නියෙනි ඵලට වනු" යන ආදර්ශ පාඨය ලබාදුන්නේ මෙහි ධර්මාචාර්යයන් වහන්සේ නමක් වු ගරු නුගවෙල පඤ්ඤාජොති හිමියන් විසිනි.උන්වහන්සේම පද බැඳූ පාසල් ගීතයට තනු නිර්මාණය කළේ සංගීතඥ ගණකධාර මහතා විසිනි."නියෙනි ඵලට වනු" යයි දැක්වෙන පාඨය සහිත නුගවෙල මධ්‍ය විද්‍යාලීය ලාංඡනය තුළින් එහි දර්ශනය කියා පායි.එය තියුණු වූ දැති සහිත නෙළුම් මලකින් ද නිල්,මෙරුන්,කහ හා අළු යන වර්ණයන්ගෙන් ද දැල්වෙන පහන්තිර සහිත පහනකින් ද යුක්ත වන අතර ලාංඡනයට ඉහළින් පිඨිකාවක්  ද ඒ මැද  කේසර සිංහයෙක් ද දක්වා නිර්මාණය කර ඇත.නෙළුම් මලින් චරිතවත් බවද,තියුණු දැති සහිත නෙළුම් මලින් සියලුම බාධක මැඩගෙන තම දක්ෂතාවන් මත ජයග්‍රහණය කරා යන සිසුන්ද  විවිධ වර්ණ වලට අදාළව විවිධ ජාතීන්ට අයත්  සිසු දැරියන් ඒකාත්මීය පිරිසක් ලෙස එක්ව අධ්‍යාපනය ලබන බව දක්වයි.වීර්යය,අභීත බව හා ලොව ඕනෑම තැනක ජීවත්විය හැකි අයෙකු විය යුතු බව සිංහයා නැගී සිටින වේදිකාවෙන් ද පෙන්වා දෙයි.ලාංඡනය මැද ඇති පොතෙන් බුද්ධිමත් බව හා දැනුම ද දක්වන අතර පහනෙන් ඥාණය හා අධිෂ්ඨානය ද දැල්වෙන තිර පහනෙන් ආගම,විද්‍යා,කලා,වාණිජ හා තාක්ෂණය යන අධ්‍යාපනික විෂයන් ගෙන් ආලෝකමත් වන ශිෂ්‍ය ජීවිතය සංකේතවත් කරයි. මේ දර්ශනයෙන් ඔපවත් වු නුගවෙල මධ්‍ය විද්‍යාලය 80 වසරක ඉතිහාසය තුළ ඉංජිනේරුවන්,වෛද්‍යවරුන්,ආචාර්ය මහාචාර්යවරුන්,ආගමික නායකයින්,දේශපාලන නායක‍යින්,ත්‍රිවිධ හමුදාවේ විවිධ නිලතල දරන්නන් ද ශ්‍රී ලංකා පොලීසියේ විවිධ තනතුරු දරන්නන් ද බිහිකර ඇත.

  

  

ආරම්භ කළ වර්ෂය

1944 ජනවාරි 10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

97

මුල් ගුරුතුමාගේ නම

ඩි.ඩබ්.මායාදුන්න මයා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඩි.ඩබ්.මායාදුන්න

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

නුගවෙල පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව